සිරුරේ ක්‍රියාකාරීත්වය වෙනස්‌ කරන තයිරොක්‌සින් හෝමෝනය (Thyroid hormones)

සිරුරේ ක්‍රියාකාරීත්වය වෙනස්‌ කරන තයිරොක්‌සින් හෝමෝනය 

අප සෑම පුද්ගලයකුගේම බෙල්ලේ අභ්‍යන්තරයේ සමනලයකුගේ හැඩයෙන් යුත් ග්‍රන්ථියක්‌ පිහිටා ඇත. එය තයිරොයිඩ් ග්‍රන්ථිය ලෙස හඳුන්වයි.

තයිරොයිඩ් ග්‍රන්ථිය  මඟින් ශරීරයේ ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත් තයිරොක්‌සින් හෝමෝනය ශ්‍රාවය කරයි. 

තයිරොක්‌සින් හෝමෝනය අපගේ මොළයේ සිට දෙපා දක්‌වා වූ ශරීරයේ සියලුම ඉන්ද්‍රීයන්ගේ නිසි ක්‍රියාකාරීත්වයට බලපායි. පාදස්‌ථ පරිවෘත්තීය වේගය (Basal Metabolic Rate) පාලනය කරමින් ශරීරයේ සෑම ඉන්ද්‍රියකම ක්‍රියාකාරීත්වයේ වේගය පාලනය කිරීමට තයිරොක්‌සින් හෝමෝනය අත්‍යවශ්‍ය.

තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් ශ්‍රාවය වන ප්‍රධාන හෝමෝන වර්ග දෙකක්‌ ඇත. ඒවා T4 (Tetraa Iodo Thyroxine) සහ T3 (Tri Iodo Thyoxine) යන හෝමෝනය. 

තයිරොක්‌සින් හෝමෝනය ශරීරයේ උෂ්ණත්වය නිසි ලෙස පාලනය කරයි. මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකිරීත්වයට සහයෝගය දක්‌වයි. 

අපට මෙතරම් ඉතා වැදගත් තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිපදවන තයිරොක්‌සින් හෝමෝනය අඩු වූ විට හයිපොතයිරොයිඩ්සම්  නමැති රෝගයත්, තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අධික වූ විට හයිපර්තයිරොයිඩසම් රෝගයත් මතුවේ.. 

තයිරොක්‌සින් අඩු වූ විට 

තයිරොක්‌සින් අඩු වීම හෙවත් හයිපොතයිරොඩයි සම් රෝගය මතුවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අඩු වූ විටදීය.

එවිට නිතර අලසබව, නිදිමත, මන්දොත්සාහය, සම වියළීම, අකලට කෙස්‌ හැලීම, මාංශ පේශීවල වේදනාව සහ මාංශ පේශි දුර්වල බව මළ බද්ධය, කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව සහ ඔසප් දිනවල අධික ලෙස රුධිර වහනය සිදුවේ.

ඊට අමතරව බුද්ධි වර්ධනය අඩු වේ. අමතක වීම මතුවී එය ඩිමෙන්ෂියා රෝගය දක්‌වා වර්ධනය විය හැකිය.

ශරීරයේ උෂ්ණත්වය පාලනය අක්‍රමවත් වේ. එනිසා සාමාන්‍ය උණුසුම් පරිසරයකදී වුව ශරීරය ඇතුළත ශීතල බවක්‌ දැනේ. හෘදවස්‌තුව ක්‍රියා කිරීමේ වේගය අඩුවේ. ශරීරය අධික ලෙස තරබාර වේ. ගැබිනි මවකට තයිරොක්‌සින් හෝමෝනය නිපදවීම අඩුවීමේ රෝගය මතු වූ විට ඇයගේ කුසේ වර්ධනය වන දරු කලලයට එය දැඩිව බලපායි, එනම් දරු කලලයේ වර්ධනය බාලවේ. දරුවාගේ මොළයේ වර්ධනය අඩාලවීම සිදුවේ. ශරීර වර්ධනය නිසි ලෙස සිදු නොවේ. ලිංගික පරිනත බවට පත්වීමේදී අඩු පාඩු මතුවේ.

කුඩා කල දරුවනට මතුවන තයිරොක්‌සින් හෝමෝන ඌනතාවය ක්‍රිටීනතාවය(Cretinism) ලෙස හඳුන්වයි. මෙවැනි දරුවන්ගේ ශරීර වර්ධනය බාලවේ. මොළයේ වර්ධනය අඩාල වේ. 

තයිරොක්‌සින් නිපදවීම අඩුවීමේ රෝගයට ගොදුරු වූ අය නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී තයිරොක්‌සින් හෝමෝනය පරීක්‌ෂාවකට ලක්‌වී වෛද්‍ය උපදෙස්‌ මත තයිරොක්‌සින් බාහිරින් ගැනීම මගින් මතුවට ඇති රෝගය පාලනය කළ හැකිය.

මෙහිදී T4 තයිරොක්‌සින් හෝමෝනය අඩු වී ඇති ප්‍රතිශතය හඳුනාගැනීම සඳහා TSH පරීක්‌ෂණයක්‌ (Thyroid Stimulating Hormorne) සිදු කරනු ලබයි.

තයිරොක්‌සින් අධික වූ විට 

තයිරොයිඩ් ග්‍රන්ථිය තුළින් අධික ලෙස තයිරොක්‌සින් ශ්‍රාවය වීම නිසා හයිපර්තයිරොයිඩසම් රෝගය මතු වූ විට රෝගියා තුළින් අසාමාන්‍ය කලබල ස්‌වරූපයක්‌ මතුවේ. නිතර මළ පහ සිදුවීම, හෘද ස්‌පන්දනය අධික වීම, නින්ද නොයාම, ශරීරය කෙට්‌ටුවීම, මස්‌ පිඩු වේදනාව සහ මාංශ පේශී දුර්වලවීම ආදිය මතුවේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරී බව වැඩිවීම නිසා තයිරොයිඩ් ග්‍රනථිය ප්‍රදාහයට (Thyroidits) ලක්‌වීම මතුවේ. 

මෙම රෝගය සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොකළ හොත් තයිරොක්‌සින් හෝමෝනය අධිකව නිපදවීම නිසා ශරීරය අධික ලෙස කෙට්‌ටුවී ඇස්‌ විශාලවී එළියට විත් මුහුණේ විකෘති බවක්‌ මතුවිය හැකිය. එවැනි පුද්ගලයන් ග්‍රේවීස්‌ ආසාදනයට (Graves Disease ) ලක්‌වූ රෝගීන් ලෙස හඳුන්වයි.

ඇතැම් පුද්ගලයන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ එක්‌ කොටසක්‌ පමණක්‌ සක්‍රිය වේ. (Toxic Adenoma)

මෙලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරී තත්ත්වයට ගොදුරුවූ පුද්ගලයන් නිසි වෛද්‍ය උපදෙස්‌ මත තයිරොක්‌සින් අඩු කිරීම‌ේ ඖෂධ ගැනීමෙන් මතුව ඇති රෝගය පාලනය කළ හැකිය.

ඒ සඳහා T3 තයිරොක්‌සින් හෝමෝන පරීක්‌ෂාවක්‌ සඳහා යොමු විය යුතුය. 

ඇතැම් පුද්ගලයිනට තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය දිගු කාලයක්‌ පවතින විට ඔවුන් විකිරණශීලී අයඩීන් අඩංගු ඖෂධ ප්‍රතිකාරයට යොමුකරනු ඇත. (Radio Active Iodine ) මෙම ප්‍රතිකාරය මඟින් තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් සුව කළ හැකිය.

මෙම විකිරණශීලී ඖෂධ ප්‍රතිකාරය ඉතා ආරක්‌ෂාකාරී ප්‍රතිකාර ක්‍රමයකි. ඒ නිසා ඊට අනවශ්‍ය ලෙස බියවිය යුතු නැත. 

මෙලෙස ප්‍රතිකාර මඟින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස පාලනය නොවී සැකසහිත ගැටිති මතු වූ විට හෝ පිළිකා හටගත්විට තයිරොයිඩ් ග්‍රන්ථිය ශල්‍ය කර්මයක්‌ මඟින් ඉවත් කිරීමට සිදුවේ.. මෙය ඉතා සංකීර්ණ සැත්කමකි. තයිරොයිඩ් ග්‍රන්ථීය පිහිටා ඇති බෙල්ල ප්‍රදේශයේ ශරීරයේ ප්‍රධාන රුධිර වාහිනි සහ ස්‌නායු කිහිපයක්‌ ඇත.

කට හඬ උපදවන ස්‌නායු දෙකක්‌ තිබේ. පැරාතයිරොයිඩ් හෝමෝන නිපදවන පැරාතයිරොයිඩ් ග්‍රන්ථි තයිරොයිඩ් ග්‍රන්ථිය පිටුපස කොටසේ පිහිටා ඇත. එ නිසා මෙම රුධිර වාහිනී ස්‌නායු සහ පැරාතයිරොයිඩ් ග්‍රන්ථිවලට හානි සිදු නොවන ලෙස සැත්කම සිදු කළ යුතුය. 

කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය 
අන්තරාසර්ග රෝග පිළිබඳ 
විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද 
සාකච්ඡා කළේ – උපාලි  

2016/03/12 දින දිවයින සායනය ඇසුරෙනි.

Each of us has a butterfly-shaped gland on the inside of our neck. It is called the thyroid gland. The thyroid gland secretes thyroxine, a hormone that is important for the body’s functioning.

The hormone thyroxine affects the proper functioning of all the organs of the body from our brain to our feet. The hormone thyroxine is essential for controlling the rate of activity of every organ in the body by controlling the basal metabolic rate.

The hormone thyroxine regulates body temperature properly. Supports the proper functioning of the digestive system, which is essential for brain development.

Hypothyroidism is caused by a decrease in the production of thyroxine hormone, which is so important to us, and hyperthyroidism is caused by an increase in the production of thyroxine.

3 Replies to “සිරුරේ ක්‍රියාකාරීත්වය වෙනස්‌ කරන තයිරොක්‌සින් හෝමෝනය (Thyroid hormones)”

  1. මා 40 හැවිරිදි පුද්ගලයෙකි මාගේ 4වෙනි දරුවාගේ ඉපදී දින 5දී ලබාගත් ලේ සාම්පල් එකේ තයිරොක්සින් පතිසතය 17.5% පමන විය දැනට සති 8ක් පමන වන දරුවාගේ ලේ සාම්පල් 6ක් පමන ලබාගෙන පරික්ෂා කර ඇතත් එහි අඩු බවක් පෙන්නුම් නොකරයි ඒ සදහා බෙහෙත් තිබේ ද?

  2. මගෙ ශරීරය ගොඩාක් වියළියි,ඇඟ ඇතුළෙන් රිදෙනවා වගේ,හන්දි නවන්න බෑ හරි අමාරුයි, නිතරම නිදිමතයි කම්මැලියි, පාඩම් කරන්න හිතෙන්නෙත් නෑ, මේක ලෙඩක් ද, නැත්නම් මේ රස්නේ නිසාද

  3. මට දැනගන්න ඕනි ඊස්ටජන් හෝමෝනය අධික ආහාර මොනවද කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *