සියදිවි නසාගන්න බලපාන හේතු (Reasons for Suicide)

සියදිවි නසාගන්න බලපාන හේතු

මිනිස්‌ ආත්මයක්‌ ලබා ගැනීම කණ කැස්‌බෑවා විය සිදුරකින් අහස බැලීම හා සමාන ඉතාම දුර්ලභ අවස්‌ථාවක්‌ බව අපේ ජනවහරෙහි අදහසකි. එම අදහස එන්නට ඇත්තේ මිනිස්‌ ආත්මයෙහි වැදගත්කම හුවා දැක්‌වීමට විය හැකියි කෙසේ වුවද අප කවුරුත් වෙහෙස වන්නේ අපට ලැබී ඇති ජීවිතය විඳින්නට විනා විඳවන්නට නොවෙයි.

නමුත් කාටත් පොදු එදිනෙදා ජීවිතයේ ඇති නොයෙක්‌ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි. සමහරු නොයෙක්‌ දුෂ්කරතා මැද මේ ගැටලු සාර්ථකව විසඳා ගෙන ජීවිතය ජය ගනී. එහෙත් සමහරු ප්‍රශ්න වලට විසඳුම ලෙස තෝරා ගන්නේ සියදිවි නසා ගැනීමයි. බලාපොරොත්තුවක්‌ ඉටු නොවීම බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණ දීමට සිදු වීම ක්‌ෂණික කෝපය ජීවිතය හැරදැමීමට තරම් මානසික කඩා වැටීමක්‌ වන්නේ කොහොමද? මේ ගැන කතා කිරීම කාලීනව සිදුවිය යුතු දෙයකි.

අපේ රට සියදිවි නසා ගැනීම අතින් පළමු තැනට පත්ව තිබුණා. දැනුත් එය එසේදැයි සිතිය හැකි තරමට සියදිවි නසා ගැනීම් වැඩි තත්ත්වයක්‌ දැකිය හැකියි. පසුගියදා ඇමතිවරයෙක්‌ පවා සියදිවි හානි කර ගැනීමට උත්සහ කළා. ඊට දින කීපයකට උපන්දින තෑග්ගක්‌ නොලැබීම නිසා තරුණියක්‌ සියදිවි නසා ගත් පුවතක්‌ වාර්තා වුණා. මේ පුවත්පත් සාකච්ඡාව පල වන දිනය වන විට තවත් එවැනි සිදුවීම් කීයක්‌ නම් වාර්තා වෙයිද කිව නොහැකියි. සියදිවි නසා ගැනීමත් බෝවන රෝගයක්‌ බවට පත් වෙයිද? පත් වෙලාද? 

ඔබ පැවසුවා වගේ ලංකාව 1998 වන විට සිය දිවි නසා ගැනීම අතින් ලොව පළමු ස්‌ථානයට පත්ව තිබුණා. ඒ වගේම සිය දිවි නසා ගැනීම ලංකාවේ මරණ වලට ප්‍රධාන හේතව වී තිබුණා. එනම් එදා යුද්ධයෙන් මිය යන සංඛ්‍යාවට වඩා සිය දිවි හානි කර ගැනීම නිසා සිදුවූ මරණ සංඛ්‍යාව වැඩි වුණා. එසේ පැවති තත්ත්වය අවුරුදු 10ක්‌ තුළ ක්‍රම ක්‍රමයෙන් අඩු වුණා. දැන් අපේ රටේ සිය දිවි නසා ගැනීම දැකිය හැක්‌කේ එදා තිබුණාට වඩා 50%ක්‌ පමණයි. අද රටේ මරණ වලට ප්‍රධාන හේතුව රිය අනතුරුයි. සියදිවි නසා ගැනීම බෝවන රෝගයක්‌ වන්නට මාධ්‍ය මගින් කරන ප්‍රසිද්ධියද බලපායි.

සියදිවි නසා ගැනීම් අඩු වූයේ කෙසේද? 

එයට එක්‌ හේතුවක්‌ වන්නේ එවකට සිටි ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිණිය විසින් සියදිවි නසාගැනීම් පිළිබඳ විශේෂඥ දැනුමක්‌ ඇති වෛද්‍යවරුන් සමඟ ගත් පියවරයන්. මෙහිදී ප්‍රධාන හේතුව වුයේ සියදිවි නසා ලැනීමට පාවිචි කළ කෘමිනාශක  ලබා ගැනීම අසීරු බවට පත් කිරීම. ඒ අනුව සමහර කෘමි නාශක වල් නාශක තහනම් කළා. සමහර ඒවායෙහි සාන්ද්‍රණය අඩු කළා. ඒ වගේම සිය දිවි නසා ගැනීමට උත්සහ කිරීම උසාවි යන වරදක්‌ වූ නීතිය අහෝසි කළා. 

සිය දිවි නසා ගැනීමට උත්සහ කරන සියලු දෙනාම සිය දිවි නසා ගන්නවාද? 

සිය දිවි නසා ගැනීම සහ සිය දිවි නසා ගැනීමට උත්සහ කිරීම මානසික ප්‍රශ්න දෙකක්‌. සියදිවි නසා ගන්න උත්සහ කරන්නේ දරා ගත නොහැකි ආතතිය නිසයි. ඒ අයගෙන් 15%ක්‌ පමණ ඉදිරි කාලයේ සිය දිවි නසා ගන්නවා. සියදිවි නසා ගන්නා එක වෙනත් දෙයක්‌. එයට තිබෙන හේතු වෙනස්‌. 

පුද්ගලයෙක්‌ සිය දිවි නසා ගන්නේ ඇයි? 

සිය දිවි නසා ගන්නා ප්‍රධාන හේතු තුනක්‌ තිබෙනවා. පළමු හේතුව වන්නේ විෂාදය හෙවත් මානසික අවපීඩනයයි. සිය දිවි නසා ගන්නා අය අතරින් 60%ක්‌ම මානසික අවපීඩනයෙන් පෙළෙන අයයි. කෙනෙකු අධිකව මේ මානසික රෝගයෙන් පෙළෙනවා නම් එයට ප්‍රතිකාර ගන්නේ නැතිනම් එය අවසාන වන්නේ සිය දිවි නසා ගැනීම තුලින්. දෙවැනි හේතුව වන්නේ මත්පැන් වලට ඇබ්බැහි වීමයි. සිය දිවි නසා ගන්නා අය අතරින් 30%ක්‌ම මත්පැන් වලට ඇබ්බැහි වූ අයයි. තුන්වැනි හේතුව වන්නේ ගැටවර වයසේ ළමයි පවුල තුළ ශාරීරිකව අපයෝජනය ලක්‌ විමයි. අපි තවම දකිනවා ගැටවර වයසේ ළමයින්ට ඔවුන්ගේ සීමා කොට ශාරීරිකව අපයෝජනයට ලක්‌ වන අවස්‌ථා. 

කෙනෙකු සිය දිවි නසා ගැනීමට උත්සහ කරනවා නම් ඒ බොරුවයි බය කිරීමටයි කියා සමාජයේ අදහස්‌ පවතිනවා එහි ඇත්තක්‌ තිබෙනවාද? 

සිය දිවි නසා ගැනීමට උත්සහ කරන අය එක්‌කෝ මානසික අවපීඩනයෙන් පෙළෙනවා. නැතිනම් ඔවුන් දරා ගැත නොහැකි ආතතියකින් පෙළෙනවා. දරා ගත නොහැකි මානසික ආතතිය අඩු කර ගන්න එසේ පවුලේ අය බය කිරීමට උත්සහ කරනවා ඇති. 

වෛද්‍යතුමනි ලංකාව සිය දිවි නසා ගැනීම අතින් පළමු තැනට පත් එක්‌දහස්‌ නවසිය අනූව දශකයේ අග භාගයේ සිය දිවි නසා ගැනීම වැළැක්‌වීම පිළිබඳ කාර්ය සාධක මණ්‌ඩලයේ ඔබත් සිටියා. එහිදී ඔබ ඇතුලු විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම සියදිවි නසා ගැනීම් වාර්තාකරණය නැවැත්වීමට විශාල උත්සහයක්‌ ගත්තා ඒ ඇයි? 

එයට හේතු වූයේ මාධ්‍යය මගින් ප්‍රචාරය දෙන විට එය වීර ක්‍රියාවක්‌ බවට පත් වෙනවා. ඒ වගේම ප්‍රශ්න වලට විසඳුමක්‌ බව පෙනෙනවා. ලෝකයේ බොහෝ රටවල්වල පෙන්වා දී තිබෙනවා මාධ්‍යය මගින් සිය දිවි නසා ගැනීම ප්‍රචාරය වන වන විට එය වසංගතයක්‌ වගේ පැතිරෙන බව. අපි එදා එවැනි උත්සාහයක්‌ දැරුවේ ඒ නිසයි. 

ඔබ කී විදියට මානසික අවපීඩනය, මත්පැන්වලට ඇබ්බැහි වීම සහ පවුල් තුළ ඇති වන ගැටුම් නිසා සිය දිවි නසා ගැනීම් සිදු වෙනවා, මෙය කියවන ජනතාවට ඒ ගැන දිය හැකි පණිවිඩය කුමක්‌ද? 

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ ඔබ පවුල තුළින්ම මානසික පීඩනය හඳුනා ගන්න කියලයි. කෙනෙකුගේ හැසිරීම වෙනස්‌ වෙලා නම්, රෑට නින්ද යන්නේ නැතිනම් සතුට අඩු වෙලා නම්, තරහ යාම වැඩි නම් මේ ගැන කල්පනාවෙන් ඉන්න. වෛද්‍යවරයෙකුට යොමු කරන්න බලන්න. මත්පැන් වලට ඇබ්බැහි වීමත් එවැනි දෙයකි. මත්පැන් නැතිවම බැරි තත්ත්වයට පත් වි සිටී නම් ඔහු ප්‍රතිකාර සඳහා ගෙන යන්න. දැන් කාලේ මත්පැන් වලට ඇබ්බැහි වීමට ප්‍රතිකාර තිබෙනවා. තුන්වැනි දේ තමයි ගැටවර ළමයින් සමඟ ඇති වන ගැටුම්. තමන්ගේ ගැටවර ළමයින් ගැන තරමක ලිහිල් බවකින් කටයුතු කරන්න. ඔවුන්ටත් පාඩම් කිරීම හැර වෙනත් මානුෂික අවශ්‍යතා ඇති බව තේරුම් ගන්න. ඔවුන්ද සාමාන්‍ය පුද්ගලයෝ විදියට සලකන්න. අවසන් වශයෙන් කියන්න තිබෙන්නේ කෙනකු සිය දිවි නසා ගැනීම ගැන කියනවා නම්, උත්සහ කරනවා නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන් සුදුසුකම් ලත් මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකුට යොමු කළ යුතුයි. ඔහු හෝ ඇය ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නැතිනම් පවුලේ කෙනෙකු ගොස්‌ වෛද්‍යවරයා හමු වී ඔහු හෝ ඇය ගැන කතා කරන්න.

කෙනෙකුට තමන්ට විෂාදය හෙවත් මානසික අවපීඩනය තිබෙනවාද යන්න ගැන තමන්ට අවබෝධ කර ගත හැකි සරල විදියක්‌ මෙහිදී සටහන් කළ හැකියි.

පසුගිය සති දෙක හෝ ඊට වැඩි කාලයක්‌ පුරා මෙහිදී ඔව් පිළිතුර 5ක්‌ හෝ ඊට වඩා ගත්තා නම් ඔබ මනෝ වෛද්‍යවරයෙකු හමු වීම වැදගත් බව සලකන්න. එහිදී මෙම ස්‌වයං පරීක්‌ෂණය සඳහා ඔබ ලැබූ ඔව් පිළිතුරු සංඛ්‍යාව වෛද්‍යවරයාට පවසන්න .

1. සුලු කාරණයක්‌ සම්බන්ධයෙන් පවා ඔබ පසුතැවෙනවාද? ඔව්/නැත

2. ඔබ නිතර නිතර හදිසි කෝපයට පත් වෙනවාද? ඔව්/නැත

3. ඔබට කිසිවෙකු ආදරය නොකරනවා හෝ ඔබව නොසලකා හැර ඇතැයි සිතෙනවාද? ඔව්/ නැත

4. ඔබ නිතරම හිසරදයෙන් සහ ශාරීරීක වේදනාවකින් හෝ දැවිල්ලකින් පෙළෙනවාද? ඔව්/නැත

5. ඔබට සාධාරණ හේතුවක්‌ නැතිව අධික මහන්සියක්‌ හෝ පණ නැති ගතියක්‌ දැනෙනවාද? ඔව්/නැත

6. ළඟදී ඔබේ ශරීරයේ බර අඩු වුණාද? ඔව්/නැත

7. ඔබට ඔබේ අධ්‍යාපන කටයුතු රැකියාව ගේ දොර වැඩපල කිරීමට ඇති උනන්දුව අඩු වෙලාද? ඔව්/නැත

8. රාත්‍රියට නින්ද යාමේ අපහසුවක්‌ පවතීද?ඔව්/නැත

9. හේතුවක්‌ නැතිව ඔබට දුකක්‌ දැනෙනවාද? ඔව්/නැත

10 ඔබ ළඟදී සියදිවි හානි කර ගැනීමට සිතුවාද? ඔව්/නැත

Here is a simple way to find out if a person has depression.

If you have received 5 or more yes or no answers here in the last two weeks or more, you should consider seeing a psychiatrist. There tell the doctor the number of yes answers you got for this self-test.

1. Do you regret even a small matter? Yes / No

2. Do you often get angry suddenly? Yes / No

3. Do you feel that no one loves or cares for you? Yes / No

4. Do you often suffer from headaches and physical pain or inflammation? Yes / No

5. Do you feel tired or lethargic for no good reason? Yes / No

6. Have you lost weight recently? Yes / No

7. Have you lost interest in doing your academic work, homework? Yes / No

8. Is it difficult to fall asleep at night? Yes / No

9. Do you feel sad for no reason? Yes / No

10 Have you recently considered committing suicide? Yes / No

මනෝ වෛද්‍ය විශේෂඥ රනිල් අබේසිංහ
සාකච්ඡා කළේ 
ප්‍රියන්ති මැණිකේ නවරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *