හදිසියේම කන් ඇසීම දුර්වල වන හැටි (Sudden hearing loss)

හදිසියේම කන් ඇසීම දුර්වල වන හැටි

මොකද? කන් ඇසෙන්නේ නැද්ද? කිසියම් පුද්ගලයකුට යමක්‌ පැවසූ විට එම තැනැත්තා ඒ ගැන දෙතුන් වරක්‌ විමසන විට අපි පවසන්නෙමු. බොහෝ විට අප එසේ පවසන්නේ එම පුද්ගලයාට කන් ඇසීමේ දුර්වලතාවයක්‌ මතුව ඇති බව සිතමින් නොව එම තැනැත්තා අප පවසන දෙය එතරම් සැලකිල්ලට ගෙන අසා නොසිටි බව සිතමිනි. නමුත් අපගේ කන් ඇසීම හදිසියේම දුර්වල විය හැකි අවස්‌ථා පවතී.

හදිසියේම කන් ඇසීම දුර්වල විය හැකි අවස්‌ථා මොනවාද?

වයස්‌ සීමාවකින් තොරව අපට ඕනෑම අවස්‌ථාවක කන් ඇසීමේ දුර්වලතා මතුවිය හැකිය. මෙම දුර්වලතාවයෙහි බරපතළ බව තීරණය වන්නේ එය කනෙහි මතුව ඇති ප්‍රදේශය අනුවය.

සාමාන්‍යයෙන් නිරෝගී කනක්‌ ඇති පුද්ගලයකුගේ බාහිර කන, මැද කන සහ අභ්‍යන්තර කන ලෙසින් කොටස්‌ තුනකින් යුක්‌තය. අපගේ කනට ශබ්දය ඇසෙන්නේ බාහිර කනට ඇතුළු වන ශබ්ද තරංග මැද කන ඔස්‌සේ අභ්‍යන්තර කන වෙත ගමන් කර එහි ඇති ස්‌නායු ඔස්‌සේ මොළය වෙත ගමන් කිරීමෙනි.

මෙම කොටස්‌ තුනෙන් කුමන හෝ කොටසක ඇතිවන අවහිරතාවයක්‌ හෝ අනතුරක්‌ නිසා හදිසියේම කන ඇසීම දුර්වල විය හැකිය.

බාහිර කන

බාහිර කන අවහිර වීමට ප්‍රධාන වශයෙන්ම බලපානුයේ කලාඳුරු පිරී තිබීමය. එවිට බාහිර ශ්‍රවණ නාලය සම්පූර්ණයෙන්ම අවහිර වේ.

මුහුදේ, පිහිනුම් තටාකයේ හෝ ගඟක ස්‌නානයට පසු කන තුළට වතුර ඇතුළුවීම නිසා ද බාහිර කන සම්පූර්ණයෙන්ම අවහිර වේ.

බැක්‌ටීරියා හෝ දිලීර ආසාදනය වී කන ඉදිමුම නිසා ද බාහිර කන අවහිර වේ.

මැද කන

ගුවන් යානයක ගමන් කරන විට බිම් ගෙවල් සහිත මාර්ග ඔස්‌සේ දුම්රියේ දිගු ගමනක්‌ යන විට මැද කනේ රුධිර පීඩනය වෙනස්‌ වීම නිසා හදිසියේම කන් ඇසීම දුර්වල විය හැකිය.

මෙලෙස බාහිර සහ මැද කනේ ඇතිවන ඇසීමේ දුර්වලතා එතරම් බරපතළ නැත. ඒ සඳහා නිසි ප්‍රතිකාර සිදුකිරීමෙන් කන් ඇසීමේ දුර්වලතා යථා තත්ත්වයට පත්කර ගත හැකිය.

අභ්‍යන්තර කන

අභ්‍යන්තර කනෙහි ඇති මොළයට සම්බන්ධ කර්ණ ස්‌නායුව අනතුරට පත්වීම, මැද කනේ ආසාදන හේතුවෙන් එම ආසාදනය අභ්‍යන්තර කන දක්‌වා පැතිර ගොස්‌ කනේ කර්ණශංඛය ආසාදනය වීම, කම්මුල්ගාය, සරම්ප වැනි වෛරස ආසාදන දරුණු වීම නිසා කර්ණශංඛයේ කේශ සෛල විනාශ වීම, පිළිකා නාශක, ප්‍රතිජීවක, මැලේරියා පෙති ගැනීම නිසා කර්ණශංඛයේ කේශ සෛල විනාශ වීම, කර්ණ ස්‌නායුවේ ගෙඩි, මොළය සම්බන්ධ රෝග, දියවැඩියාව, අධික කොලෙස්‌ටරෝල් මට්‌ටම, රුධිර පීඩනය වැනි රෝග නිසා අභ්‍යන්තර කනේ රුධිර සැපයුම අවහිර වීම, කේශ සෛල විනාශ වීම සහ සොයාගත නොහැකි හේතු නිසාද අභ්‍යන්තර කනේ අනතුරු ඇති වේ. මෙම අවස්‌ථාවන්හිදී ද හදිසියේම කන් ඇසීම දුර්වල විය හැකිය.

හදිසියේ කන් ඇසීම දුර්වල වූ විට ගත යුතු වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?

බාහිර කන සහ මැද කනේ මතුව ඇති හේතුවක්‌ නිසා කන් ඇසීම දුර්වල වූ විට වෛද්‍ය උපදෙස්‌ මත නිසි ප්‍රතිකාර ගැනීමෙන් එම දුර්වලතාවය නැති කරගෙන කන් ඇසීම සාමාන්‍ය තත්ත්වයට පත්කරගත හැකියි.

විශේෂයෙන්ම කනේ කලාඳුරු ඇතිවීම, ඒවා ඉවත් කිරීමට “කොට්‌න් බට්‌” නමැති පුළුන් සහිත කූරුවලින් කන සුද්ද කරන්න එපා කියන පණිවුඩය ජනතාව සිතේ තබාගත යුතුයි. මින් සිදුවන්නේ කන තුළින් පිටතට පැමිණෙන කලාඳුරු කන තුළට යැමයි.

යම් පුද්ගලයකුගේ කනේ කලාඳුරු සිරවී ඇත්නම් වෛද්‍ය උපදෙස්‌ මත ග්ලිසරින්, ඔලිව් තෙල් වැනි ද්‍රdවණයක්‌ මගින් එය මොලොක්‌ බවට පත්කර ඉවත් කළ හැකියි. ඒ සඳහා එම ද්‍රdවණ බිංදු තුන බැගින් දිනකට පස්‌වතාවක්‌ පමණ කනට දැමිය යුතුය. එවිට සාර්ථකව කලාඳුරු මොලොක්‌ වේ.

අභ්‍යන්තර කනේ මතුව ඇති අනතුරු සඳහා ප්‍රතිකාර ලබාගැනීමට වහාම උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍යවරයෙකුගේ උපදෙස්‌ ලබාගත යුතුය. එහිදී වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂා කර මතුව ඇති රෝග අනතුර හඳුනාගැනීම සඳහා වූ විශේෂ පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධික කොලෙස්‌ටරෝල් මට්‌ටම නිසා අභ්‍යන්තර කනේ රුධිර සැපයුම අවහිර වී ඇති විට රෝගියා කනට ප්‍රතිකාර ලබාගන්නා අතර තම දියවැඩියා අධි රුධිර පීඩන, කොලෙස්‌ටරෝල් මට්‌ටම පාලනය කර ගැනීමටත් පියවර ගත යුතුයි.

කන් ඇසීම හදිසියේම දුර්වල වීම සිදුවන අවස්‌ථාවලදී බහුලවම දකින්නට ලැබෙන්නේ එක්‌ කනක එම දුර්වලතාවය මතුවීමය. එබැවින් මෙවැනි රෝගීන්ට රෝහල්හි නේවාසිකව නොසිට ප්‍රතිකාර ලබාගත හැකිය. කන් දෙකම හදිසියේ ඇසීමේ දුර්වලතා මතුවුවහොත් එවැනි පුද්ගලයනට රෝහල්ගතව නේවාසිකව සිට ප්‍රතිකාර ලබාදිය යුතු වේ.

කොළඹ ජාතික රෝහලේ උගුර කන නාසය පිළිබඳ  විශේෂඥ ශල්‍ය වෛද්‍ය  චන්ද්‍රා ජයසූරිය

2016/09/03  දිවයින සායන ඇසුරිනි

What? Can’t hear? When we say something to a person, we say it when that person asks about it two or three times. Most of the time we say that not thinking that the person has a hearing impairment but thinking that the person did not pay much attention to what we were saying. But there are times when our ears can suddenly become weak.

In cases of sudden hearing loss,structure of the ear and medical treatment for hearing loss are discussed in the article.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *