මානසික පීඩාව නිසා ඇතිවන බඩේ කැක්‌කුම (Abdominal Pain due to Stress)

මානසික පීඩාව නිසා ඇතිවන බඩේ කැක්‌කුම

“බලන්නකෝ පුතා ඉස්‌කෝලෙ යන්න ලෑස්‌ති වෙන වෙලාවට බඩේ කැක්‌කුමයි කියලා අඬනවා. ඉස්‌කෝලෙ යන්නේ නෑ. ටිකක්‌ වෙලා ගියාම කිසිම බඩේ කැක්‌කුමක්‌ නෑ. දොස්‌තරලා කියන්නේ මෙයාට කිසිම බඩේ අමාරුවක්‌ නෑ කියලා”

“අපේ පුතාට දැන් අවුරුදු 15යි. ඉස්‌කෝලෙ යන්න ලෑස්‌ති වෙලා කී පාරක්‌ නම් ටොයිලට්‌ එකට දුවනවද. සමහර දාට බස්‌ එකත් ගිහින් විභාගෙ දවස්‌වලට මේ ප්‍රශ්න වැඩියි. බෙහෙත් දුන්නා දුන්නා කිසිම අඩුවක්‌ නැහැ”

“අනේ අපේ අම්මාට ගැස්‌ට්‍රයිටිස්‌. හිටපු ගමන් බඩ පුරෝලා දානවා. බඩේ දැවිල්ල එනවා. දැවිල්ල වැඩි දවසට ඇඳෙන් බහින්න බැහැ. මටත් වෙලාවකට ඔය ප්‍රශ්න එනකොට වමනේ යනවා. ඩොක්‌ටර් කියන්නේ ඒක stress කියලා. බඩට බටයක්‌ වත් දාලා බලන්න ඕනෑ කියලත් කීවා. හැබැයි ටික කාලයයි තියෙන්නේ. අඩුවෙලා යනවා”.

මේ අප සඳහන් කළේ කාන්තාවන් කීපදෙනෙකුම බඩේ අමාරු ගැන කතා කළ දෙබස්‌ කීපයක්‌. ඇත්තටම බඩේම කියා ප්‍රශ්නයක්‌ නැතිව බඩේ අමාරු හැදෙන්නේ ඇයි? වෛද්‍යවරු පරීක්‌ෂා කොට බලා බඩේ කිසිම අසනීප තත්ත්වයක්‌ නැති බව පවසන්නේ ඇයි? ඉහත සඳහන් වු පරිදි ආතතිය නිසා ඇතිවන ලෙඩක්‌ද? ආතතිය බඩට බලපාන්නේ කොහොමද? මෙවර සුවහමුව තුලින් අපි ඒ ගැන කතා කිරීමට අදහසු කළෙමු.

මානසික හේතු නිසා බඩේ අමාරු ඇති වෙනවාද?

මෙය අපි නිතර දකින දෙයක්‌. බඩේ කැක්‌කුම්, බඩේ දැවිල්ල, වමනේ යාම, බඩ පුරෝවා දැමීම්, බඩ බුරුල් වී යාම වැනි ලක්‌ෂණ මානසික හේතු නිසා ඇති වෙනවා.

මොනවද එම මානසික හේතු?

ප්‍රධාන හේතුව වන්නේ මානසික ආතතියි. මානසික ආතතිය ඇති වන විට එය අපේ ජීර්ණ පද්ධතියට විවිධ විධි මගින් තදින් බලපෑ හැකියි. එක විදියක්‌ වන්නේ ජීර්ණ පද්ධතියට ලේ ගමනාගමනය අඩු වීමයි. ඒ සමඟම ආමාශයේ ඇසිඩ් ශ්‍රාවය වැඩි වෙයි. ඒ සමඟම බඩවැලේ ක්‍රියාකාරීත්වය අඩුවීම හෝ වැඩිවීම සිදුවෙයි.

එය ශාරීරික ලක්‌ෂණ විදියට බලපාන්නේ කොහොමද?

ආමාශයේ ඇසිඩ් ශ්‍රාවය වැඩි වන විට දැවිල්ල හට ගන්නවා. ඒ වගේම ආමාශයේ තුවාල ඇති වෙන්නත් එය හේතුවක්‌ වෙනවා. බඩවැලේ ක්‍රියාකාරීත්වය අඩු වන විට බඩ පුරවා දමනවා. බඩඑළිය යාම ඇති වෙනවා. වෙනත් විදියකට පවසනවා නම් මානසික ආතතිය ප්‍රකාශ වන ප්‍රධාන විදියක්‌ වන්නේ බඩට සම්බන්ධ රෝග ලක්‌ෂණ වලින් බව අපට කිව හැකියි.

මේ තත්ත්වය තවත් උග්‍ර වන හේතුකාරක තිබෙනවාද?

ඔව් එනම් අපි ආතතිය අඩු වෙන්න යෑයි සිතා දුම්වැටි පාවිච්චි කළොත් ඇසිඩ් වැඩියෙන් නිෂ්පාදනය වෙනවා. ඒ වගේම ආතතිය අඩු වෙන්න අරක්‌කු පානය කළහොත් ජීර්ණ පද්ධතියට අදාළ රෝග ඇති විය හැකි ඉඩ කඩ තවත් වැඩියි. පැණි රස කෑමත් ඒ වගේමයි. බොහෝ කාන්තාවෝ කරන දෙයක්‌ වන්නේ ආතිතය අඩු වෙන්න පැණි රස කෑමයි. එයින් වන්නේ ජීර්ණ පද්ධතියට තවත් නරක බලපෑම් සිදුවීමයි.

හොඳයි ඔබ කියන ඔය ආතතිය බඩට බලපාන්නේ කෙසේදැයි දැන් අපට පැහැදිලියි. වෛද්‍යතුමනි දැන් ආතතිය පැහැදිලි කළොත්?.

ආතතිය කියන්නේ අපි සිටින සාමාන්‍ය සැහැල්ලු ස්‌වරූපය බාහිර කාරණයක්‌ නිසා නැති වීමයි. එසේ වු විට අපි අර සැහැල්ලු ස්‌වභාවය පසු කර ගෙන ගොස්‌ අධික ආතතිමය තත්ත්වයකට පත් වෙනවා. හොඳම උදාහරණය වන්නේ පාරේ යන විට ඔබ බස්‌ එකකට යටවන්නට ගොස්‌ අනුනවයෙන් බේරුණා නම් ඔබට එය දැනෙන්නේ කොහොමද? උගුර වේලෙනවා, පපුව ගැහෙනවා, අත පය සීතල වෙලා ගැහෙනවා, ඉන්න තැන අමතක වෙනවා, තරහ බය දැනෙනවා. එය මානසික ආතතියයි. නමුත් සාමාන්‍ය සමාජයේ ප්‍රශ්න වලට මුහුණ දෙන අපි ඔය අධික ආතතිය නැතිවත් තරමක ආතිතයක්‌ ඇති කර ගන්නවා. එසේ වු විට එය අප සමඟ නිතර ගැවසෙනවා. පාසල් යන්න බය ළමයා, විභාග වලට යන්න බය ළමයා, සමාජ භීතිකාව ඇති පුද්ගලයා, ගෙදර තනියම සිටීමට බිය ගෘහණියන්, ලෙඩ රෝග ගැන නිතර බය වන කාන්තාව වැනි නොයෙක්‌ උදාහරණ ගැන කියන්න පුලුවන්. මධ්‍යම සහ නිදන්ගත විදියට ආතතිය ඇති අයට තමන් සිටින්නේ ආතතිය යට බව අමතක වෙනවා. ඔවුන්ට වැඩියෙන් දැනෙන්නේ අර බඩේ කැක්‌කුම හෝ දැවිල්ලයි. මොවුන් ගැස්‌ට්‍රයිටිස්‌ තිබේ නම් ආමාශයට ඖෂධ ප්‍රතිකාර කිරීම සිදු කරනවා විනා තමන්ගේ ප්‍රශ්නය දෙස බලන්නේ නැහැ.

මානසික රෝග වලටත් මෙහෙම වෙනවාද?

ඔව්. මානසික අවපීඩනයට පත්වු බොහෝ අයට නිදන්ගත බඩේ අමාරු ඇති වෙනවා. ප්‍රධාන ලක්‌ෂණය බඩේ දැවිල්ලයි. ඒ වගේම කාංසාව (anxiety) තිබෙන අයටත් බොහෝ විට බඩේ අමාරු ඇති වෙනවා. කලින් කී විදියට නිතර බඩඑළිය යාම කාංසා ලක්‌ෂණයක්‌ විය හැකියි. එසේම බඩ පුරවා දැමීමත් කාංසා ලක්‌ෂණයක්‌. තව ලෙඩ ගැන දැඩිව සිතන සමහර අය සිටිනවා. ඔවුන් නිතර විශ්වාස කරනවා තමන්ට පිළිකාවක්‌ වැනි භයානක රෝග ඇතියි කියා. එවන් අයටත් බඩ සම්බන්ධ රෝගී ලක්‌ෂණ මතු වෙනවා.

මේ අයට උදව් කරන්නේ කොහොමද?

පළමුවෙන්ම කරන්න තිබෙන්නේ තමන්ට බඩ සම්බන්ධ රෝග ලක්‌ෂණ තිබෙනවා නම් වෛද්‍යවරයෙකු ලවා පරීක්‌ෂා කර ගැනීමයි. ඔහු රෝගයක්‌ නැති බව පවසනවා නම් තමයි ආතතිය ගැන හිතන්න ඕනෑ. තමන්ගේ පවුලෙන්, තමා වැඩ කරන තැනින්, තමන්ගේ ප්‍රේම සම්බන්ධවලින් තමන්ට සතුටක්‌ නොව නිතර ආතතියක්‌ ඇති වෙනවා නම් මෙයට හේතුව එය විය හැකියි. දෙවැන්න වන්නේ ආතතිය අඩු කර ගන්නා විදියයි.

ආතතිය අඩු කර ගන්නේ කොහොමද?

ආතතිය ඇති වන හේතු සොයා ගැනීමට පුලුවන් නම් එම හේතු කාරක වලින් ඈත් වී සිටීමට උත්සහ කරන්න. එසේ නොහැකි නම් පහත සඳහන් දේවල් කරන්න. සැහැල්ලු ව්‍යායාම (Abdominal breathing, exercise) කිරීම්, තමන් කැමති මිත්‍රයින් ඇසුරු කිරීම තුළින්, සහ තමා කියන කරන දේවල් ගැන මනා සිහියෙන් සිටීම තුළින් ආතතිය අඩු කර ගන්න පුලුවන්. එසේ නොහැකි නම් තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න. එය තම මිතුරෙක්‌ සමඟ වෙන්න පුලුවන් එසේ නැතිනම් උපදේශනය ලබා ගැනීම වෙන්න පුලුවන්. මේ සියල්ලෙන්ම තත්ත්වය අඩු වන්නේ නැතිනම් නැත්නම් සුදුසුකම්ලත් මනෝ වෛද්‍යවරයෙක්‌ හමුවෙන්න. එවිට ඔබගේ ආතතිය ගැන මැනවින් විශ්ලේෂණය කර බැලීමට පුලුවන්. එසේම ඔබට මානසික අවපීඩනය වැනි තත්ත්වයක්‌ තිබේදැයි පරීක්‌ෂා කර බැලීමටත් පුලුවන් බලන්න. ඒ වගේම ආතතියට හෝ ඊට සම්බන්ධ වෙනත් මානසික රෝග තිබේදැයි බලා ඒවාට ද ප්‍රතිකාර කළ හැකි වෙයි.

ඔබ සමස්‌තයක්‌ වශයෙන් සමාජයට දෙන පණිවිඩය කුමක්‌ද?

ඔව් ඒ පණිවිඩය වන්නේ ආතතිය අමතක කරන්න එපා අද සමාජය තුළ ආතතිය ඇති වන විවිධ හේතු තිබෙනවා. ආතතිය නවීන සමාජයට ලැබුණු අනපේක්‌ෂිත දායාදයක්‌ කිව හැකියි. පාරේ ගියත්, මෝටර් රථයක ගියත් බස්‌ රථයක ගියත් ඇති වන්නේ ආතතියක්‌ කාර්යාලයේත් ඇති වන්නේ ආතතියක්‌. ගෙදර පැමිණි විට ළමයින්ට පාසැලෙන් දෙන ගෙදර වැඩ කරවන්න ගියත් ඇති වන්නේ ආතතියක්‌. ආතතිය අප වටේටම ගිලගෙන තිබෙනවා. බඩට අදාළ ශාරීරික ලක්‌ෂණ පමණක්‌ නොවෙයි. ඔය තරබාරුකම අධික රුධිර පීඩනය දියවැඩියාව වැනි රෝග හට ගන්නේත් මේ අධික ආතතිය නිසයි. ඒ නිසා ආතතිය ගැන අවබෝධයෙන් සිටීම වැදගත්. ඒ නිසා ආතතිය හඳුනාගෙන එය මැඩ ගැනීමට මා කලින් සඳහන් කළ සරල ක්‍රියාකාරකම් කරන්න. නොහැකි නම් වෛද්‍යවරයෙක්‌ හමු වන්න. නමුත් දුම්පානය තුලින්, අරක්‌කු පානය තුලින්, තරහ යාම තුළින් ආතතිය අඩු කර ගන්න උත්සහ කරන්න එපා.

මේ සම්බන්ධව ඔබට වැඩිදුරටත් තොරතුරු වෛද්‍යතුමන්ගෙන් ලබාගැනීමට අවශ්‍යනම් දුරකථන අංක 081-2232928 ඇමැතිය හැකිය.

විශේෂඥ මනෝ වෛද්‍ය
රනිල් අබේසිංහ සාකච්ඡා කළේ
ප්‍රියන්ති මැණිකේ නවරත්න

2016/10/15 දිවයින සායනය ඇසුරිනි

“Look, my son is having a stomach ache when he’s ready to go to school. He’s not going to school. After a while, he has no stomach ache. The doctors say he has no stomach ache.”

“Our son is 15 years old now. How many times does he run to the toilet when he’s ready to go to school? Sometimes the bus goes too far and there are too many problems on exam days.

Is Stomach Upset Due To Mental Illness?

This is something we often see‌. Symptoms such as upset stomach, inflammation of the stomach, vomiting, bloating, and constipation are caused by psychological factors.

One Reply to “මානසික පීඩාව නිසා ඇතිවන බඩේ කැක්‌කුම (Abdominal Pain due to Stress)”

  1. මානසික පීඩාව නිසා ඇතිවන බඩේ කැක්කුම නිට්ටාවට සුව කර ගන්නේ කොහොමද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *