කොරෝනාවෙන් මනස ලෙඩ නොවන්නට නම් (Covid 19 and mental health)

 

coronawen1

කොවිඞ්-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් සුපුරුදු දෛනික ජීවිත අහිමි වූ පුද්ගලයන් නිවෙස් තුළ දීර්ඝ කාලීනව හුදෙකලා වීම හේතුවෙන් මානසික වශයෙන් යම් යම් අවපීඩනවලට ගොදුරුවීම සාමාන්‍ය තත්ත්වයකි. වෙනදා මෙන් විනෝද චාරිකා යෑමට, මිතුරන් හමු වීමට යෑමට හා ඇතැම් අවස්ථාවල රැකියා සඳහා යාමට පවා නොහැකි වීමෙන් මානසික වශයෙන් යම් යම් අපහසුතාවලට ලක් වූ පුද්ගලයෝ සිටිති. ඔවුනට නිවැසියන් සමග විනෝදයෙන් කාලය ගත කිරීම, සාහිත්‍ය කලා අංගවලට යොමු වීම, ගෙවතු වගා කටයුතු වැනි විනෝදාංශවලට යොමු වීම ආදියෙන් මානසික සහනයක් ළඟා කර ගැනීමට හැකියාව ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ ළමයෙකු නම් පැයක කාලයක් සෙල්ලම් කිරීමද, වැඩිහිටියෙකු නම් අවම පැය බාගයක කාලයක් ව්‍යායාම, යෝගා, නැටුම් ආදී ක‍්‍රියාකාරකමක යෙදීමෙන් ද කායික මානසික හා අධ්‍යාත්මික සුවය ළඟා කරගත හැකි වන බව යි. ඕනෑම වසංගතයකදී පමණක් නොව රෝගයකදී සාමාන්‍යයෙන් ඇතිවන බිය, කාංසාව, දොම්නස, ව්‍යාකූල ස්වභාවය සහ තරහව වැනි හැඟීම් පාලනය කිරීමට නම් ඒ සඳහා යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. ඒ සඳහා යම් පුද්ගලයෙකුට තමාගේ සමීපතමයන්ගේ සහාය අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. කෙසේ වෙතත් මෙම ලිපියෙන් අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන්නේ බාහිර සමාජයේ වැරදි සහගත හැසිරීම් හේතුවෙන් කොරෝනා සමයේ නිරෝධායන ක‍්‍රියාවලියට ලක් වන පුද්ගලයන් තුළ ඇති විය හැකි මානසික අසමතුලිතතාව පිළිබඳව ය.

මිනිසා වනාහි සමාජ ආශ‍්‍රය හා කණ්ඩායම් ජීවිතය ප‍්‍රිය කරන සත්ත්වයෙකි. නිරෝධායන රීති යටතේ පුද්ගලයන් මෙම සමාජ ජීවිතයෙන් යම් පමණකට දුරස් කරනු ලැබේ. කොවිඞ් රෝගියකුගේ ආශ‍්‍රිතයෙකු වූ පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් රටේ බලපැවැත්වෙන සංචරණ සීමා, මුහුණු ආවරණ පැළඳීම වැනි පොදු නිරෝධායන රීතියට වඩා බැ?රුම් ලෙස නිරෝධායනයට ලක් වීමට සිදු වේ. මෙයින් අදහස් කරන්නේ යම් කොවිඞ් රෝගියෙකුගේ පළමු පෙළ දෙවන පෙළ හෝ වෙනත් යම් ආකාරයකට ආශ‍්‍රිතයෙකු බවට පත් වූ පුද්ගලයෙකු රෝගය බෝ වී ඇත්ද යන සැකය මත බාහිර සමාජයෙන් ඈත් කොට සති දෙකක් වැනි කාලයක් හුදෙකලා කොට තැබීම යි. මෙම හුදෙකලාකරණය සිය නිවෙස හෝ වාසස්ථානය තුළම හෝ නිරෝධායන මධ්‍යස්ථානයක් තුළ සිදු විය හැකි ය. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ පවා පුද්ගලයාට සාමාන්‍ය ජීවන අවශ්‍යතා පැන නගී. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ශරීර කෘත්‍යය කිරීමේ අවශ්‍යතා, පිරිසිදු වීමේ අවශ්‍යතාව ආදිය ඒ අතර ප‍්‍රධාන ය. ඒ සඳහා අවශ්‍ය පරිදි පෞද්ගලික පාරිහාරික භාණ්ඩ මේ සම්පූර්ණ කාලය තුළ පුද්ගලයා වෙත සැපයීම වැදගත් වෙයි. මෙම ජීවන අවශ්‍යතාවලට අමතර ව තවත් මානසික අවශ්‍යතා රාශියක් ද පුද්ගලයාට ජීවත් වීම සඳහා අවශ්‍ය වෙයි. නිරෝධායනය වන සති දෙකක කාල සීමාව ද පුද්ගලයෙකුගේ ජීවිත කාලයෙන් කොටසක් බව මතක තබා ගත යුතු ය. එහෙයින් එම කාලය අතරතුර ජීවත් වීමට අවශ්‍ය ආදරය, කරුණාව, රැුකවරණය පිළිබඳ හැඟීම වැනි මානසික අවශ්‍යතා සපුරාලීම ඉතා වැදගත් ය. මන්දයත් ස්වාභාවික හා ජීව විද්‍යාත්මක වශයෙන් ම යම් ආදරවන්තයෙකුගේ ආශ‍්‍රය මත යැපීමට නිර්මාණය වී ඇති මානව සත්ත්වයාහට හුදෙකලාව දරා ගැනීම අපහසු වන හෙයිනි.

වෙනත් දිනවලදී මෙන් ශාරීරික වශයෙන් සමීප වීමෙන් සෙනෙහස, කරුණාව, සහකම්පනය වැනි හැඟීම් ප‍්‍රදර්ශනය කිරීමට නිරෝධායන කාල සීමාව තුළ අවකාශ නොලැබේ. ඒ සමීප ආශ‍්‍රයෙන් වෛරස ව්‍යාප්තිය සිදු වන බැවිනි. එහෙත් පුද්ගලයෙකුට මානසික ව සමීප වීමෙන් වෛරස ව්‍යාප්තියට කිසි දු බලපෑමක් නැත. නිරෝධායනයට ලක් වන්නා ස්වෙච්ඡුාවෙන් හෝ බලහත්කාරයෙන් වුව නිරෝධායන ක‍්‍රියාවලියට යටත් වීමෙන් ප‍්‍රකට කරන්නේ අපරිමිත කැපකිරීමකි. එම පුද්ගලයා දින දාහතරක් මුළුල්ලේ තම ස්වාභාවික ශාරීරික හා මානසික අවශ්‍යතාවලට අගුළු දමා ගනියි. මේ දෙස නිරෝධායනය නොවන සෙසු පුද්ගලයන් බැලිය යුතු වන්නේ වඩාත් මානුෂීය අන්දමිනි. ඇතැම් අවස්ථාවල දී නිරෝධායනය වන පුද්ගලයන්ට සෙසු පුද්ගලයන්ගෙන් බරපතළ මානසික පීඩාවන්ට ලක් වීමට සිදු වෙයි. එම පීඩා අනවශ්‍ය අන්දමින් වෙහෙසට පත් කරන ප‍්‍රශ්න ඇසීම, පරිභව කිරීම, නොතකා හැරීම, පිළිකුල් කිරීම හා කොන් කරනු ලැබීම දක්වා නොයෙක් පරාසවලට විහිදෙයි. නිරෝධායනයට ලක් වන පුද්ගලයා සිදු කරන්නේ තමාට රෝගය වැළඳී ඇත්නම් හෝ වැළඳී ඇතැයි සැකයක් ඇත්නම් එය තමාගෙන් වෙනත් අයෙකුට බෝවීම වැළැක්වීමට ක‍්‍රියා කිරීම යි. එකී ජාතික වගකීම හා ආචාර ධාර්මික මනුෂ්‍යත්වය සිය උර මත පටවා ගත් පුද්ගලයා දෙස සමාජය බැලිය යුතු වන්නේ වපර ඇසින් නොවේ. නිරෝධායනය වන පුද්ගලයා යනු යෝධ කොරෝනා වෛරසයක් නොව, අප වැනි ම තවත් මිනිසෙකි ය යන්න අමතක කිරීම මනුස්සකමට තරම් නොවේ.

මෙහිදී සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ යමෙකු නිරෝධායනයට ලක් වන්නේ නොසැලකිල්ල හා වගකීම්විරහිතභාවය මත රෝගය බෝ කරගැනීම නිසා යැයි නිගමනය කර ඔවුන්ට වෛර කිරීම අතිශය අසාධාරණ වන බව යි. මුහුණු ආවරණ පැළඳ, දෑත් නිතර විෂබීජහරණය කරමින් නව- සාමාන්‍ය දෛනික ජීවිතයට මුහුණ දෙන පුද්ගලයෙකුට පවා නිරෝධායනයට ලක් වීමට සිදු විය හැකි ය. කෙසේද යත් තමාගේ රැුකියා ස්ථානයේ, ගමන් කළ රථයක හෝ ඇතුළු වූ ස්ථානයක යම් කොවිඞ් රෝගියෙකු වාර්තා වුවහොත් අදාළ පුද්ගලයන් ආශ‍්‍රිතයන් ලෙස සලකා නිරෝධායන ක‍්‍රියාවලියට ඇතුළත් කරන නිසාවෙනි. යම් පුද්ගලයෙකු නිරෝධායනය වීම යනුම වගකීම්සහගත වීමකි. නිදසුනක් ලෙස යම් ආයතනයකට ඇතුළත් වූ පුද්ගලයෙකු කොවිඞ් රෝගියෙකු වූ බව වාර්තා වූ පසු එම දිනයේ ආයතනයට ඇතුළු වූ පුද්ගලයන් කවුරුන් ද යන්න ආයතනයේ පවත්වාගෙන යනු ලබන ලේඛනය ඇසුරින් පිරික්සනු ලැබේ. එවිට අදාළ ලේඛනයේ සිය තොරතුරු සඳහන් කර ඇති පුද්ගලයන් නිරෝධායන ක‍්‍රියාවලියට ඇතුළත් කෙරේ. යම් හෙයකින් පුද්ගලයෙකු සිය සත්‍ය තොරතුරු වසන් කර තිබිණි නම් එම පුද්ගලයාට සති දෙකේ අකාරුණික හුදෙකලාවට යටත් වීමට සිදු වන්නේ නැත. ඇතැම් විට යම් පුද්ගලයන් වුවමනාවෙන් ම සිය තොරතුරු වසන් කිරීමට පවා පෙළඹී නිරෝධායනය මගහැර සිටින්නේ එහි දී මුහුණ පෑමට සිදු වන නොයෙක් මානසික පීඩාවලින් මිදීම පිණිස ය. රෝග පැතිරීමේ අවදානම පාලනය කිරීමේ දී මෙය බරපතළ තත්ත්වයකි.

සාමාන්‍ය ජීවිතයේදී අතිශය සමාජශීලී පුද්ගලයෙකු නිරෝධායන සමය තුළ දී මානසික අවපීඩනයකට ලක් වුවහොත් කල් යෑමේ දී ඇති විය හැකි තත්ත්වය විශාද අවස්ථාවක් දක්වා බරපතළ වීමට පවා ඉඩ ඇත. ශාරීරික රෝග සමග ගනුදෙනු කිරීම සාපේක්ෂව පහසු ය. එහෙත් මානසික

රෝගයක් ඇති වුවහොත් එය අනාගතයේදී පුද්ගලයා සාමාන්‍ය ජීවිතය වෙනස් වී සමස්තයක් ලෙස රටේ සමාජ ආර්ථික තත්ත්වයට පවා බලපෑම් කිරීම දක්වා ගැටලූකාරී සහ සංකීර්ණ විය හැකි ය. තමා වෙත ආදරය, කරුණාව හා සැලකිල්ල පෑ පුද්ගලයන් නිරෝධායන කාල සීමාවේදී තමා නොතකා හැරීම නිසා රෝගය වැළඳී තමාට අසාධ්‍ය වේද යන සාධාරණ මරණ බියට අමතරව තවත් වේදනාවක් පුද්ගල සන්තානයට වද දෙයි. නිරෝධායනය වන පුද්ගලයාට සැබැවින්ම තම ජීවිතය පිළිබඳ යම් බියක්, වේදනාවක් ඇති වෙයි. එය දුරු කර පුද්ගලයාගේ සිත ශක්තිමත් කිරීමේ හැකියාව ද වගකීම ද ඇත්තේ ඔහුගේ හෝ ඇයගේ සමීප ආශ‍්‍රිතයන්ට ම ය. ඒ දෙමාපියන්, දරුවන්, සැමියා හෝ බිරිඳ, සහෝදරයන්, මිතුරන් යන කවර ම අයෙකු හෝ විය හැකි ය. අවශ්‍ය වන්නේ වෙනදාටත් වඩා මානසික ව සමීප වෙමින් නිරෝධායනය වන පුද්ගලයාගේ සිතට සහනයක් ළඟා කර දීම යි. එය මානසික පීඩනය දිගු කාලයක් තිස්සේ පැවතීමෙන් ඇති විය හැකි විශාදය වැනි මානසික රෝගයකින් අත්මිදීමට පමණක් නොව, පුද්ගලයාගේ ප‍්‍රතිශක්තිය වර්ධනය වී රෝගයෙන් වැළකීමට පවා හේතු විය හැකි ය. අනෙක් අතට, අනවශ්‍ය මානසික පීඩනය හේතුවෙන් පුද්ගලයාගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී අවාසනාවන්ත ලෙස ඉක්මනින් රෝගය බෝ වීමට පවා ඉඩ ඇත.

නිරෝධායනය සම්බන්ධ මානසික සංකූලතා පිළිබඳ සැලකිලිමත් වීමේ දී හඳුනාගත හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ බොහෝ පුද්ගලයන් මේ හුදෙකලා සමය තුළ ඉතා ඇබ්බැහිශීලී අන්දමින් ඩිජිටල් තිර වෙත නැඹුරු වී ඇති බව යි. දවසින් අධික කාලයක් ජංගම දුරකථන, පරිගණක, රූපවාහිනිය වැනි තිර වෙතට යොමු වී සිටීමට බොහෝ පුද්ගලයන් පෙළඹී ඇත්තේ හුදෙක් කාලය ගත කර දැමීම සඳහා වීම අවාසනාවන්ත සිද්ධියකි. සමාජ මාධ්‍ය ඔස්සේ හෝ මානසිකව සමීප සබඳතා පවත්වාගෙන යෑමත් විනෝදයෙන් කාලය ගත කිරීමත් ඉතා යහපත් ය. එසේ ම මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කරන හෙයින් සිසුන්ට හා ගුරුවරුන්ට ද ඩිජිටල් තිර සමග නිරතුරුව ගනුදෙනු කිරීමට සිදු වීම නොවැළැක්විය හැකිය. එහෙත් දීර්ඝ කාලීනව තිර දෙස යොමු වීම හේතුවෙන් මානසික සමතුලිතතාව බිඳවැටීම, කල්යෑමේ දී ඇස්, මොළය හා ස්නායු පද්ධතිය ආශ‍්‍රිත විවිධ

රෝගාබාධයන්ට ගොදුරු වීම, මානව සබඳතා බිඳවැටීම ආදී අහිතකර ප‍්‍රතිවිපාක රාශියක් ඇති වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් ලබා දී ඇත්තේ එක් තැනක එක ම ඉරියව්වෙන් සිටීම නුසුදුසු වන බවත් තිර දෙස බලා සිටින විට අවම වශයෙන් පැය බාගයකට එක් වරක් නැගිට ගොස් අවම විනාඩි තුනක්වත් ඇවිදිමින් සිට ආ යුතු බව යි. එසේ ම මේ කාලය තුළ හොඳින් ජලය පානය කිරීම සහ සමබල ආහාර වේලක් ලබා ගැනීමෙන් ද සංකූලතා අවම කරගත හැකි වන බව එම සංවිධානය පෙන්වා දෙයි.

කොවිඞ්-19 සමයේ යහපත් මානසික සෞඛ්‍ය පවත්වාගෙන යෑමට සඳහා අනුගමනය කළ හැකි ක‍්‍රියාපිළිවෙළක් නිර්දේශ කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩෙවෝරා කෙස්ල් පවසන අන්දමට ලොව පුරා බිලියනයක ජනතාවක් මානසික ආතතිය සහ කාංසාව වැනි මානසික අසමතුලිතතාවන්ට පත්ව සිටී. කොවිඞ්-19 වැනි වසංගත සමයක එම සංඛ්‍යාව වැඩි වීමක් මිස අඩුවීමක් සිදු නොවිය හැකි ය. විශේෂයෙන්ම නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්ට මානසික සංකූලතා ඇති වීමට වැඩි විභවතාවක් පවතී. වෛද්‍ය කෙස්ල් නිර්දේශ කරන පරිදි සෑම දිනකම පුරුද්දක් ලෙස එකම වේලාවක නින්දට යෑම සහ පිබිදීම, වැඩ කිරීමට සේම විවේක ගැනීමට කාලයක් වෙන් කර ගැනීම සහ නිසි පරිදි ව්‍යායාම කිරීම වැනි දෛනික පුරුදු මේ සමයේ යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගෙන යෑමට හේතු වන බවයි. මීට අමතරව, සමබල ආහාර වේලක් ලබා ගැනීම, විනෝදයෙන් කාලය ගත කිරීම, මත්දියර සහ දුම්පානයෙන් වැළකීම හෝ සීමා කිරීම වැනි සෞඛ්‍ය පුරුදු ද ඉතා වැදගත් බව ඇය පෙන්වා දෙයි. මේ පොදු උපදෙස් සියල්ලට අමතරව ඈ ලබා දෙන වැදගත් උපදෙසක් නම් මානසික අසහනයක් ඇති වන තරමට ප‍්‍රවෘත්ති වෙත අධිසංවේදී නොවන්න යන්න යි. මේ පිළිබඳ මඳක් දීර්ඝව සාකච්ඡුා කිරීම කාලෝචිත ය.

තොරතුරු දැනගැනීමට පුද්ගලයා සතු අධිකතර උනන්දුව ඇතැම් විට මානසික රෝගයක් දක්වා තීව‍්‍ර විය හැකි ය. ඇතැම් රූපවාහිනී නාලිකාවල වෙනත් රටවල කොවිඞ් ව්‍යාප්තිය පිළිබඳ භයංකර තත්ත්ව, මරණය සහ අවසන් කටයුතු පිළිබඳ ඉතා සංවේදී රූපරාමු, රෝගීන් පණ අදිමින් සිටින ආකාරය ආදී වීඩියෝ පට නිතර නිතර ප‍්‍රදර්ශනය කරමින් අනවශ්‍ය ලෙස තම නාලිකාවේ ප‍්‍රසිද්ධිය සඳහා කටයුතු කරන බව පෙනේ. ඇතැම් යූටියුබ් නාලිකාවල තත්ත්වය ද එසේය. මේවා නිතර නිතර දර්ශනය වීම නිසා පුද්ගලයාගේ සිත තුළ මානසික පීඩනයක්, කාංසා තත්ත්වයක් වර්ධනය වෙයි. මින් අදහස් වන්නේ පුද්ගලයා රටේ ලෝකයේ සිදු වන දේ පිළිබඳ යාවත්කාලීන නොවිය යුතු ය යන්නක් නොවේ. ඒ සඳහා විශ්වාසවන්ත මූලාශ‍්‍රයකින් දිනකට එක් වරක් තොරතුරු ලබා ගැනීම ප‍්‍රමාණවත් ය. ඒ විනා දවස මුළුල්ලේ ප‍්‍රවෘත්ති බලමින් මනස විකෘති කර ගැනීම අවශ්‍ය නොවේ. ඒ කාලය සාහිත්‍ය රසවින්දනයක් හෝ වෙනත් ප‍්‍රයෝජනවත් කටයුත්තක් සඳහා යොදා ගත හැකිය. එසේම තමා යම් වැරදි ප‍්‍රවෘත්තියක් දුටුවේ නම් එවේලේම එය නිවැරදි කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය බියගැන්වීම් නොව, ධනාත්මක ආකල්ප පතුරුවා හරින ලෙසත් අධ්‍යක්ෂතුමිය මහජනතාවට මතක් කර සිටියි. විශේෂයෙන්ම නිවසේ නිරෝධායනය වන පුද්ගලයෙකු හෝ රෝගය තහවුරු වූ පුද්ගලයෙකු සිටී නම් එවැනි අසුබවාදී පුවත් නිතර නිතර ඇසෙන්නට ඉඩ සැලැස්වීමෙන් වැළකීම සුදුසුය.

කොවිඞ්-19 රෝගයෙන් බරපතළ අන්දමින් බැට කනවාට අමතරව විශාදයෙන් පෙළෙන මානසික රෝගී පරපුරක් ද රටට දායාද නොවීමට නම් සියල්ලන්ගේ සහයෝගය ඊට ලැබිය යුතුය. කොරෝනා වෛරසයෙන් වැළඳෙන කායික රෝගයට පිළියම් යෙදීමට නම් දේශපාලනික වශයෙන් විශාල කාර්යභාරයක් ඉටු විය යුතු බව සහතිකය. එහෙත් ඊට අමතරව කොරෝනා වෛරසයේම අතුරු ප‍්‍රතිඵලයක් ලෙස මානසික රෝගයක් පැතිරීම වළක්වා ගැනීමට නම් වගකිවයුතු පුරවැසියන් ලෙස  සේ ම ආදරණීය මිනිසුන් වශයෙන් සියලූ දෙනාම සාවධාන වීම  වැදගත් ය. විශේෂයෙන් ම නිරෝධායනය වෙමින් සිටින යම් අයෙකු වේ නම් ඔහු හෝ ඇයගේ මානසික සෞඛ්‍ය රැඳී පවතින්නේ සෙසු  අයගෙන් ලැබෙන සහකම්පනීය සැලකිල්ල මත බව අවධාරණය විය යුතු ය. කොරෝනා වසංගතයෙන් බේරී සිටීමට උපදෙස් ලබා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂතුමා ද අවසානයේ දී අනුකම්පාව හොඳම බෙහෙත වන බව සඳහන් කරන්නේ එහෙයිනි. කෙසේ වෙතත් කෙරෝනා වෛරසයට මිනිසාගේ ශ්වසන පද්ධතියට ප‍්‍රහාර එල්ල කිරීමට හැකියාව තිබිය හැකි ය. එහෙත් මිනිසාගේ මනුෂ්‍යත්වයට ප‍්‍රහාර එල්ල කිරීමට වෛරසයකට ඉඩ දෙනවා ද යන්න යළි යළිත් විමසා බැලීමට කාලය එළඹ තිබේ.

(මෙම ලිපිය සම්පාදනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අන්තර්ජාලගත කර ඇති ලිපි කිහිපයක් ප‍්‍රයෝජනවත් විය.)

 

සුනිමාලි රණවක
සහකාර කථිකාචාර්ය – සිංහල අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

දිවයින පුවත් පතින් උපුටා ගන්න ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *