Covid 19 හමුවේ දන්ත වෛද්‍ය ප්‍රතිකාරවල ඉදිරි ගමන (Progression of dentistry with COVID 19)

ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය COVID-19 රෝගය සමස්ත සමාජයම යටපත් කර ගෙන මිනිසුන්ගේ පාලනය සියතට ගෙන ඇත. මේ හේතුව නිසා ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා දන්ත වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය (covid19 dental sicence and dentistry) මෙම කාලය තුළ විශාල අභියෝගයන්ට මුහුණ දී තිබේ. Covid 19 හමුවේ දන්ත වෛද්‍ය ප්‍රතිකාරවල ඉදිරි ගමන ගැන මේ ලිපියේදී අපි කතා කරමු.

සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර මෙන් දන්ත වෛද්‍ය ප්‍රතිකාර (dentistry practice) ක්‍රියාවෙහි යෙදීම කළ නොහැක්කේ ඇයි?

දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ දී  ඔබගේ ශ්වසන හා මෞඛ මාර්ගයත් වෛද්‍යවරයාගේ ශ්වසන හා මෞඛ මාර්ගයත් අතර ඇත්තේ ඉතා කුඩා පරතරයකි. මාරාන්තික Covid-19 රෝගය වැළඳීමට හේතු කාරකය වන SARS Cov 2 වෛරසය 

ශ්වසන මාර්ගය ඔස්සේ පැතිරෙන ක්ෂුද්‍ර ජීවී විශේෂයකි. එබැවින් මෙවන් වෛරස වසංගත තත්ත්වයක දී දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම හා ලබා ගැනීම ඉතා අවදානම් ය.

  මුඛ සෞඛ්‍ය සේවා සැපයීමේ දී සහ ලබා ගැනීමේ දී, “ආරක්ෂාව” පිළිබඳව දන්ත වෛද්‍ය කණ්ඩායම් සාමාජිකයින් සහ රෝගීන් එකසේ සැලකිලිමත් විය යුතුය. 

දන්ත ශල්‍ය වෛද්‍යවරු විශේෂයෙන් කළ යුතු දේ මොනවාද ? (Best practices for dental uurgens)

වසංගත තත්ත්වය පාලනය කිරීමට දන්ත ශල්‍ය වෛද්‍යවරුන් දැඩිව අනුගමනය කළ යුතු දේ අතර,

  • සියලුම කාර්ය මණ්ඩලය සහ රෝගීන් හට ‘ඉහළ ශ්වසන මාර්ග ආසාදන’ (Upper Respiratory Tract Infections) වල රෝග ලක්ෂණ තිබේදැයි  පරීක්ෂා කිරීම,
  • පොරොත්තු කාමරයේ (waiting room) නොව ඔවුන්ගේ මෝටර් රථවල හෝ පිටත රැඳී සිටින ලෙස රෝගීන්ගෙන් ඉල්ලා සිටීම,
  •  රෝගියාගේ සහ වෛද්‍යවරයා විසින්  ඉටු කරන කාර්යයන් වල අවදානම් තක්සේරුව මත පදනම්ව, විවිධ මට්ටමේ පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) භාවිතා කරන්නේ කෙසේද යන්න දැන සිටීම,
  •  රෝගියෙකු පරීක්ෂා කිරීමෙන් අනතුරුව, විෂබීජ වෙනත් රෝගියෙකුට හෝ කාර්‍ය මණ්ඩලයේ වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය වීම (cross contamination) අවම කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා PPE ඇඳීමේ සහ ඉවත් කිරීමේ නිවැරදි ආරක්ෂිත ක්‍රම  අනුගමනය කිරීම,
  •  Covid-19 වෛරසය වාතයේ ඇති ක්ෂුද්‍ර අංශු මඟින් ව්‍යාප්ත වේ. එබැවින් ජල වාෂ්ප (Aerosols) ඇති කරන ප්‍රතිකාර සංවෘත ස්ථානවල පමණක් සිදු කිරීම, (උදා: දත් සුද්ද කිරීම)

මක්නිසාද යත් මෙවැනි ප්‍රතිකාර වලදී නිපදවෙන වෛරස අංශු සහිත ජල වාෂ්ප බොහෝ දුරකට පැතිරීමත් බොහෝ වේලාවක් වාතයේ රැඳී තිබීමත් හේතුවෙනි.

  • ජලවාෂ්ප සෑදෙන ප්‍රතිකාර කරන්නේ නම් එම ජලවාෂ්ප ,ඉහළ පරිමාවලින් ඉවත් කිරීම (HVE- high volume evacuation), HEPA පෙරන යන්ත්‍ර යොදා ගැනීම වැනි තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් හැකිතාක් පිටත පරිසරයට ව්‍යාප්ත වීම අවම කිරීම,
  • මොනයම් හෝ රෝග ලක්ෂණ ඇත්නම් රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටීම,
  •  ශ්වසන යන්ත්‍රවල යෝග්‍යතාව නිතර පරීක්ෂා කිරීම,
  •  සායනය අතරතුර හඳුනාගන්නා “නිරාවරණ” (exposures or contacts) වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටීම,

යන ක්‍රියා ප්‍රධාන වේ.

ඵලදායී සන්නිවේදනය ප්‍රතිකාර වල සාර්ථකත්වයට බලපාන්නේ කෙසේද ? (Communciate effectiveley )

එසේම වෙන කවරදාකටත් වඩා දැන් දන්ත වෛද්‍ය වරුන්ට, රෝගීන් හා කණ්ඩායම් සාමාජිකයන් සමඟ ඵලදායී ව සන්නිවේදනය කිරීමේ හැකියාව ඉතා වැදගත්ය.  දන්ත ශල්‍ය  වෛද්‍යවරයා ද සෑම විටම මුහුණු ආවරණ පළඳා සිටින බැවින් ඔහුගේ සිනහවක් හෝ රෝගීන්ට නොපෙනේ. එබැවින් රෝගීන් සන්සුන්ව, සැහැල්ලුවෙන් තබා ගැනීමෙහි ලා ප්‍රසන්න කථා විලාසය සහ ශරීර භාෂාව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.  මුහුණේ හැඟීම් කෙතරම් වැසී තිබුණ ද මුහුණු ආවරණය පිටුපස  ඇති සිනහවක් “ඇසීමට” රෝගීන්ට තවමත් හැකි බව මතක තබා ගැනීම වැදගත්ය.   මුඛය වැසී තිබුණ ද, ඇස්වලින් සිනහ වීමෙන් රෝගීන්ව සැනසීමට හැකිය.  

 දන්ත වෛද්‍ය ප්‍රතිකාර කිරීමට පෙර රෝගීන්ගේ ආතතිය හා බිය අඩු කිරීමෙන් වඩා සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකිය. ඒ උදෙසා රෝගීන්ගේ බිය සහ උත්සුකයන්ට ඇහුම්කන් දීමට කාලය ගෙන රෝගීන්ට පූර්ණ  අවධානය ලබා දීමට දන්ත ශල්‍ය වෛද්‍යවරු යුහුසුළු වෙති.  ප්‍රශ්න ඇසීමට රෝගීන් දිරිමත් කිරීම කළ යුතුය . ඔවුන්ගේ ආරක්ෂාව වෛද්‍යවරයාගේ ප්‍රමුඛතාවය බව සහතික කිරීමට අමතර සැලකිල්ලක් දැක්වීම ද අත්‍යවශ්‍ය වේ. 

 රෝගීන්ට දින ලබා දීමට පෙරට වඩා වැඩි කාලයක් ගත වේ. එසේ වීමට හේතුව දන්ත වෛද්‍ය ප්‍රතිකාර හරහා වෛරසය ව්‍යාප්ත වීමට ඇති ඉහළ ශක්‍යතාවයයි.

 දන්ත ශල්‍ය වෛද්‍යවරයා ඵලදායී ලෙස සන්නිවේදනය කළ යුත්තේ  රෝගියා සමඟ පමණක් නොවේ.  දන්ත වෛද්‍ය ප්‍රතිකාර වලදී සැම විටම එක් සහායකයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ උදව් අත්‍යවශ්‍ය වේ. එම නිසා මේ කාලයේ දී  රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී කණ්ඩායම් සාමාජිකයින් සමඟ ද සන්සුන්ව හා වෘත්තීයව සිටීමට හැකි විය යුතුය. දන්ත ශල්‍ය වෛද්‍යවරයා ,කණ්ඩායම් සාමාජිකයින්ට ඔවුන්ගේ PPE හරහා පැහැදිලිව ඇසීමට හා තේරුම් ගැනීමට හැකි මට්ටමකින්  කථා කිරීම ඉතා වැදගත් වේ.

ප්‍රතිකාර වල පිරිවැය කෙසේ වෙනස් වේවිද? (Cost of the treatments)

 COVID-19 හමුවේ ආරක්ෂාව තහවුරු කරමින් ඵලදායී ලෙස දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ දී ප්‍රතිකාර වල පිරිවැය තවදුරටත් ඉහළ යනු ඇත. කෙසේ වෙතත් කුමන ආපදාවක් හමුවේ වුවද දන්ත සෞඛ්‍ය මනාව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

දන්ත වෛද්‍ය කාර්‍ය මණ්ඩලයට පමණක් නොව මෙවන් අවදානම් තත්තවයක දී ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ද විශාල වගකීමක් ඇත. මුඛය ආශ්‍රිත බොහෝ රෝග ඇති වන්නේ යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම හේතුවෙනි.

රෝගීන් සහාය විය යුත්තේ කෙසේද ? (How paitent shoud prepared ?)

එදිනෙදා යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් හැකිතරම් මුඛය ආශ්‍රිත රෝග වැළඳීම වළක්වා ගැනීම සියලු දෙනාගේ පරම යුතුකමකි.

ඊට අමතරව,

  • PPE මාරු කිරීම වැනි සෞඛ්‍යාරක්ෂිත කටයුතු සඳහා කාර්‍ය මණ්ඩලයට වැඩි වේලාවක් ගත වන බැවින් තම වාරය එනතුරු ඉවසීමෙන් රැඳී සිටීම,
  • ප්‍රතිකාර ලබාගන්නා තුරු සහ ලබා ගැනීමෙන් පසුව නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම,
  • සායනාගාරයට ඇතුළු වීමේ දී හා පිට වීමේ දී දෑත් සබන් යොදා සේදීම,
  • යම් හෙයකින් ඔබ ආසාදිතයෙකු නම් හෝ ආසාදිතයෙකුගේ ළඟම ඇසුරක් ලෙස හඳුනාගෙන ඇත්නම් ප්‍රතිකාර ගැනීමට පැමිණීමෙන් වැළකී සිටීම,
  • ඔබට තහවුරු නොකළ යම් රෝග ලක්ෂණ ඇති බව හැඟේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම,
  • අවශ්‍ය අවස්ථාවක දී කොරෝනා පරීක්ෂණ වලට (PCR ,RAT…) සහභාගී වීමට සිදු වුවහොත් ,ඒ සඳහා පූර්ණ සහාය ලබා දීම,
  • යම් හෙයකින් නිරෝධායනයට යොමු වීමට සිදු වුවහොත් ඒ සඳහා සහාය ලබා දීම,
  • දන්ත ශල්‍ය වෛද්‍යවරයා හා සහායකයින් සමඟ සුහද ව කටයුතු කර ප්‍රතිකාර ලබා දීමට පහසු වන  අයුරින් හැසිරීම,
  • ඔබ දන්ත වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි අධික බියක් ( Dental Phobia ) සහිත අයෙක් නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම,
  • හැකිතාක් සායනයට තනිව පැමිණීමට උත්සාහ කිරීම,
  • ඔබට ලබා දෙන උපදෙස් වගකීමෙන් යුතුව නිසි අයුරින් පිළිපැදීම,

මඟින් මෙම වසංගතයෙහි අවසානයක් දැකීමට අප සැම වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුය. ඉන්පසු සාමාන්‍ය පරිදි දන්ත වෛද්‍ය ප්‍රතිකාර (covid19 dental sicence and dentistry) ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත.

මෙතෙක් පැවති හොඳම සෞඛ්‍යාරක්ෂිත පුරුදු  දැන් ක්‍රියාවේ යෙදෙන බැවින් මෙම අර්බුදය අවසන් වී වසර ගණනාවක් ගත වන විට මෙම උසස් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අප කාටත් සාමාන්‍ය වනු ඇත.

Kavindra de Costa

මූලාශ්‍ර :

Dentistry in a Time of Covid: What to Expect in the “New Normal”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *